Saturday, February 2, 2013

ලාබෙට ගත් කලිසමේ සාක්කුවේ විදෙස් මුදල් නෝට්ටුවක්

පිටරට පාවිච්චි කළ ඇඳුම් විකුණන තැනකින් ලාබෙට දිගු කලිසමක් මිලට ගත් අයකුට එය අඳින්න පෙර සෝදද්දී රහස් සාක්කුවක තිබී පිටරට මුදල් නෝට්ටුවක් හමුවීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
උත්සව සමයේ ඇඳුම් විකුණන තැන් බහුල ප‍්‍රදේශයකි. මෙහි තැනක ලාබෙට ඇඳුම් විකිණීමට තිබෙන බව කියූ ආරංචියකට පුද්ගලයකු එතැනට ගොස් ඇත. පිටරට මද වශයෙන් භාවිතා කළ ඇඳුම්

බොහොමයක් එහි තිබූ අතර ඒවා මිලට ගැනීමට උනන්දු වෙන අයද අඩුවක් තිබී නැත.
අලවියට තිබූ ඇඳුම් අතරින් සිත්ගත් ඩෙනිම් කලිසමක් තෝරාගෙන රුපියල් පන්සීයකට එය මිලට ගත් ඔහු නිවසට පැමිණ තිබේ.
මිලට ගත් කලිසම පාවිච්චි කළ එකක් නිසා අඳින්න පෙර සේදීම වඩා හොඳ යැයි කල්පනා කර එය වතුර බේසමකට දැමීමට සූදානම් වී නිකමට මෙන් කලිසමේ සාක්කුවට අත දමා පරීක්ෂා කර තිබේ. එහි පිටරටක නෝට්ටු කොළයක් තිබෙනු දැක පුදුමයට හා සතුටට පත් ඔහු එහි වටිනාකම බලද්දී මිලට ගත් කලිසමේ වටිනාකම මෙන් දෙතුන් ගුණයක්වීම නිසා ‘මේකට තමයි දෙන දෙයියෝ ගෙදරටම ගෙනවිත් දෙනවා  යැයි කියන්නේ’ කියා මිතුරන්ට පවසා සතුටු වී ඇත.