Saturday, February 2, 2013

මුදලාලි එනතුරු පැය හයක් රක්ෂණ නියෝජිතයා බලා ඉඳලා

මුදලාලි දැන් එනු ඇතැයි කියමින් රක්ෂණ නියෝජිතයකු පැය හයකටත් වැඩි කාලයක් තිස්සේ රස්තියාදු කරවමින් සේවකයකු ලෙස පෙනී සිටි මුදලාලි කෙනකු පිළිබඳව මීරිගම ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.
කලක් තිස්සේ දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයින් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙකි. ඔහුගේ ව්‍යාපාරයේ කටයුතු සාධාරණය. හොර බොරු නැත. අසල්වාසීන්ට ඔහුගෙන් සිදුවන්නේ මහත් සෙතකි. මුදලාලි වුවත් උඩුකය නිරුවත්ව කොට කලිසමකින් පමණක් සැරසී සිටීම ඔහුගේ පිළිවෙතය.

ඒ තරමටම නිහතමානීය.
ව්‍යාපාරය ආරම්භ කළ අවදියේදීම ආ රක්ෂණ නියෝජිතයකුගේ උපදෙස් අනුව ව්‍යාපාරය රක්ෂණය කළේය. මෑතක දී සිදුවූ සොරකමක් නිසා මහත් පාඩුවක් වුවත් ඒ නියෝජිතයා ඔහු ගැන බැලීම මග හැරීමෙන් ඔහු අසරණ වූයේය. එදා සිට මේ ව්‍යාපාරිකයාට රක්ෂණ නියෝජිතයන් ගැන ඇත්තේ පිළිකුලකි.
දින කිහිපයකට ඉහතදී රක්ෂණ ආයතනක නියෝජිතයකු ඔහු හමුවට ආයේය. සේවය ලබා ගැනීමේ වටිනාකම ගැන කියා දුන්නේය. පළමු රක්ෂණ නියෝජිතයාගේ වැඩපිළිවෙල ගැන කලකිරී සිටි ව්‍යාපාරිකයා අනේ මහත්තයා මුදලාලි ගමනක් ගියා එයා බලාගෙන හිටියේ මහත්තයෙක් එයි කියලමයි. ආවාම විස්තර කියන්න. මම  ඕව ගැන දන්නෙ නැහැ. ඔහු නියෝජිතයාට කීවේය.
මේ වදනින් ප‍්‍රබෝධමත් වූ නියෝජිතයා කොට කලිසමින් පමණක් සැරසී සිටි ගෝලයා දුන් තේ කෝප්පය ද පානය කරමින් බලා සිටියේ මුදලාලි එනතුරුය. පැය එක දෙක වී හයකටත් ආසන්නය. මුදලාලි තවමත් නැත. ඉර බැහැගෙන යයි. ”මහත්තයා මුදලාලි තවමත් නැහැනේ. මම දැන් කඬේ වහලා යනවා” කී මුදලාලි නිවසට ගියේ පැරණි අමනාපයට නියෝජිතයා පැය හයක් තිස්සේ රස්තියාදු කරවීමෙන් අනතුරුවය.