Friday, February 1, 2013

කඩේ ධාන්‍ය අමුවෙන් කන පාරිභෝගිකයාට පාඩමක්

තම සිල්ලර බඩු සාප්පුවට පැමිණ අශෝභන ලෙස හැසිරෙන පාරිභෝගිකයකුට අපූරු දඬුවමක් දුන් මුදලාලි කෙනකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ මැණික්වලට ප‍්‍රකට ප‍්‍රදේශයකිනි.
මේ පාරිභෝගිකයාගේ අශෝභන ක‍්‍රියාව වූයේ බඩු වට්ටෝරුවක් ඉදිරිපත් කොට එය කිරා දෙනතුරු අසලවූ පරිප්පු, මුංඇට, කඩල ගෝනි අසල රැඳී සිට එයින් ඇටයෙන් ඇටය කටට දමා සැපීමයි. මින් විශාල හානියක් නොවුණත් මුදලාලි මෙය රිස්සුවේ නැත.


පසුගිය දා මුදලාලි ඔහුට 2013 වසර සඳහා දිනපොතක් පරිත්‍යාග කළේය. දැඩි සතුටකින් එය භාරගෙන ගෙදර ගොස් පිටු පෙළරන විට ජනවාරි 01 යටතේ මුදලාලි ලියූ වගන්තියක් එහි විය.
එය කියවූ පාරිභෝගිකයාට දෙවියන් සිහි විය. එහි ලියා තිබුණේ, ”අද සිට කඩවලට ගියවිට මුංඇට, පරිප්පු, කඩල වැනි ධාන්‍ය වර්ග අමුවෙන් නොකෑමට තීරණය කළෙමි.” කියාය.
දැන් ඔහු ඒ සාප්පුව පැත්ත පළාතේවත් යන්නේ නැතිලූ.