Friday, February 1, 2013

සුපිරි වෙළෙඳ සලෙන් ගත් වට්ටක්කා කිලෝවට රු. 6400 ක් ගෙවලා


වට්ටක්කා කිලෝව කිලෝ අනූ එකක් ලෙස සටහන් කර ඊට රුපියල් හයදහස් හාරසීයක මුදලක් අය කර ගැනීමේ සිද්ධියක් ඉකුත් සෙනසුරාදා (26) පස්වරුවේ පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ජනවාරි මාසය සඳහා වැටුප ලැබීමෙන් පසු එළැඹෙන ඉදිරි මාසය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනිමට පැමිණි පුද්ගලයකු එම ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් පසු මුදල් ගෙවා ඇත.


මුදල් ගෙවීමෙන් පසු ලැබුණු බිල් පත පරීක්ෂා කළ ඔහුට වෙනදාට වඩා රුපියල් හයදහසක පමණ වැඩිවීමක් පෙන්නුම්කර ඇති නිසා ඒ බව වෙළෙඳ සේවිකාවට පවසා ඇත.
එහෙත් එය ගණනකට නොගත් සේවිකාව ”හරි හරි බිල්පත දශමයට හරි” යැයි පවසා ඇත.
අනතුරුව ඔහු රුපියල් 19883ක මුදලක් ගෙවා බඩු මුට්ටු රැගෙන යන අතරතුර වාහනයේදී සිය දියණියට බිල්පත පෙන්වා නැවත එය එකින් එක පරීක්ෂා කරන ලෙස දන්වා ඇත. එහිදී වට්ටක්කා කිලෝ 91ක් සඳහා රුපියල් 6400ක මුදලක් සටහන් කර ඇති බව හෙළි වී තිබේ. එය ඇසූ ක්ෂණයකින් දැඩි කෝපයකට හා ආවේගශීලිත්වයට පත් වී යළි වෙළෙඳසල කරා ගිය ගනුදෙනුකරු තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ පවසා ඇත.
එපමණකින් නොනැවතුණු ඔහු එදින එම වෙළෙඳසලෙන් මිලදී ගත් සියලූම බඩු මුට්ටු ආපසු භාර දී ඒ සඳහා ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට පියවර ගෙන ඇත.
එසේ නොකරන ලෙස කළමනාකරු ඇතුළු වෙළෙඳ සේවකයන් කිහිප දෙනකු ඇවිටිලි කර ඇතත් වට්ටක්කා කිලෝවකට රුපියල් 6400ක් ගත් නිසා අනිත් බඩු ගැනද විශ්වාසයක් නැති නිසා ඒවාද අනවශ්‍ය බව පවසා පිටව ගොස් ඇත.