Saturday, February 2, 2013

ලංගම නංවන්න ගොස් බස් නැතුව පයින් ඇවිත්

වේලාව උදේ අටට පමණය. බසයක් පැමිණෙන තුරු බස් නැවතුමකට වී බලා සිටි මගියෙකි. ටික වේලාවකින් පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවයට අයත් බසයක් පැමිණියත් පෙරකී මගියා එයට ගොඩවූයේ නැත. ඔහුගේ අධිෂ්ඨානය වූයේ නව වසරේ සිටවත් ලංගම බසයක ගමන් කර, එය වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා දශමයකින් හෝ දායක වීමය. විනාඩි විස්සකින් පමණ නැවතත් පෞද්ගලික බසයක්
ඈතින් පැමිණෙනු දක්නට ලැබිණි.
ඊට මදක් පිටුපසින් ලංගම බසයක් ද මගියාට දිස්විය. පෞද්ගලික බසය ප‍්‍රථමයෙන් බස්නැවතුමේ නවත්වන ලද අතර, පෙරකී මගියා හරුණු විට අනෙක් මගීහු එයට ගොඩවූහ. බසය පිටත්වන විටම ලංගම බසය ද බස් නැවතුමට ළඟාවිය. එහි ආසන කිහිපයක්ම හිස්ව පැවතුනි. මගියා වහාම අත දිගු කරමින් ලංගම බසයට නවත්වන ලෙසට සංඥා කළේය. අවාසනාවකි. ලංගම බසය නොනවත්වමින් පෞද්ගලික බසය පිටුපසින් ධාවනය වන්නට වූයේ නළාවද හඬවමිනි.
මදැයි ලංගමට ලාබ කරන්නට ගියා යැයි තමාටම කියා ගනිමින් මගියා කිලෝමීටර් එක හමාරක් පමණ දුර පයින්ම ගමන් කරන්නට විය. මෙය කොළඹ නගරයේ දී සිදුවූවකි.