Friday, February 1, 2013

හිරිවැටෙන බේත් විදගෙන ගෙදර ඇවිත්


උඩු ඇන්දේ වේදනාව දැඩිය. එනිසාම යටි ඇන්දේ වේදනාව ඊට වැඩිය. මේ සියල්ලටම හේතුව දතකි. කුරුඳු තෙල් වේදනා නාශක සහ කෙම් ක‍්‍රම රැසකින් පසුව ද සහනයක් නොමැති තැන දත ගැලවීමට ඔහු තීරණය කළේය.
ආණ්ඩුවේ ඉස්පිරිතාලවලින් දත් ගලවන්න එපා...! කෑලි හිටිනවා. අයෙක් ඔහු නොමඟ යවා තිබිණි.


දත් ගලවලා දත් කෑලි හිටියාම පිළිකා හැදෙනවාලූ. තවකෙක් කී කතාවකින් ඔහුගේ භීතිය තවත් වැඩිවිය. කීයක් ගියත් කමක් නෑ. ප‍්‍රයිවෙට් තැනකින් දත ගලවා ගන්නවා.
එසේ සිතූ ඔහු ගෙවන තැනකට ගොස් විශේෂ දන්ත වෛද්‍යවරයකු වෙනුවෙන් රුපියල් 800 ක් ගෙවා රිසිට් පතක් ලබාගත්තේය.
අංක අට. එන්න  ඔහුගේ වාරය පැමිණියේය. අංක නවය එන්න. දොරටුව අසල සිටි තරුණිය එසේ කියද්දී ඔහු එළියට ගියේය. අප්පේ මෙච්චර කල් විඳෙව්වේ අපරාදේ මෙයට කලින්ම මේක කළා නම් ඉවරයිනේ. සතුටු සිතින් සිතමින් ඔහු නිවස බලා ගියේය.
දහවල් වෙනවිට මුව තුළ වෙනසක් දැනෙන්ට විය. කැඩපත අසලට ගියේය. කට ඇරියේය ගැලවූ දත කට ඇතුළේ නැවතත් තිබිණි.
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ දත් ගැලව්වාම ඉතිරිකරනවා කිව්වේ දත් කෑලි. ඒත් මෙතන මුළු දතම ගලවල නෑනේ. මදැයි. කෝපයෙන් ඔහු නැවතත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ගියේය.
එසේ ගොස් දොරටුවෙන් ඇතුළු වෙද්දීම ආ ඩොක්ටර් මේ එන්නේ අංක අට... කොහෙද ගියේ හිරිවැටෙන්න බේත විදගෙන දත ගලවන්නෙත් නැතිව? ආයෙත් සල්ලි ගෙවන්න  ඕන නෑ හෙට එන්න. දත ගලවගෙන යන්න. බාගයට හිරි වැටී ඇති කම්මුලේ අත තබාගෙන ඔහු යාබද කඩයකින් කුරුඳු තෙල් කුප්පියක්ද රැගෙන පිටවී ගියේය.